දැක්ම 

                       ජනතාවට හිතවාදී  රාජ්‍ය සේවයක් තුළින් විශිෂ්ඨත්වයට

                     මෙහෙවර

                       රාජ්‍ය  ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයිම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු

                   කාර්යක්ෂම තිරසාර හා සැලසුම් ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින්  ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම

 

                                                 සියඹලාණ්ඩුව ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසය

ඌj පළාත් සභාවට අයත් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පරිපාලන දිස්ත්‍රික්කය වූ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාස 11න් එකක්වන සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝමීටර් 1078.66ක විශාලත්වයකින් යුක්තවේ'

කොට්ඨාස මායිම්

සියඹලාණ්ඩුවෙහි පරිපාලන සීමා කුඹුක්කන්ඔය, ගෝනමල ආර සන්ධි ස්ථානයේ සිට තනමල්විල ප්‍රාදේශීය සභා මායිම දිගේ අම්පාර දිස්ත්‍රික් මායිම දක්වාද, එතැන්සිට අම්පාර දිස්ත්‍රික් මායිම දිගේ උතුරට සේනානායක සමුද්‍රය දක්වා ද, සේනානායක සමුද්‍රයේ දකුණු මායිම දිගේ හා කෙහෙල් කුඹුර හරහා ඇති දියපාර දිගේ දකුණට දියපාරේ ආරම්භය දක්වා ගොස් එතැන් සිට බදුළුවෙල බුද්දම දෙවැනි සැතපුම් කණුව දක්වා ද, එතැන්සිට දියකදුරුවින්න කඳු මුදුන දක්වා ද, එතැන් සිට උතුරට ඇති කඳුවැඩිය මුදුන දිගේ උතුරු කෙළවර දක්වා ද, එතැන් සිට කළුගල් ගොඩ හෙළ කන්ද දක්වා ද, එතැන් සිට මීයල් ඔය ආරම්භවන කඳු මුඳුන දක්වා ද, එතැන් සිට මීයල් ඔය දිගේ පහළට හැඩ ඔය දක්වා ද, එතැන් සිට හැඩඔය දිගේ නීලවබැද්ද ඔය දක්වා ද, එතැන් සිට නීලවබැද්ද ඔය දිගේ කි.මී 02ක් පමණ ඉහළට බටහිර ඇති අතුඇළ දක්වා ද, එතැන් සිට  අතුඇල දිගේ කඳු මුඳුන දක්වා ද, එතැන් සිට කඳු බෑවුම දිගේ බටහිර දෙසට අලුපත්ගල හරහා අලුපත්ගල කඳු බෑවුම දිගේ මොනරාගල පොතුවිල් මාර්ගයේ 166වන සැතපුම් කණුව දක්වා ද, එතැන් සිට දකුණට අතුඇල දිගේ කි.මී 1ක් පමණ ගොස්, එතැන් සිට බටහිරට ඇත්ගල කඳුමුදුන දක්වා ද, එතැන් සිට මොනරාගල ප්‍රාදේශීය සභා නැගෙනහිර මායිම දිගේ හුලංදාඔය දක්වා ද, එතැන් සිට බුත්තල නැගෙනහිර මායිමේ කුඹුක්කන් ඔය දිගේ ගෝනමල ආර දක්වා ද වේ

  නිරපේක්ෂ පිහිටීම

 උතුරු අක්ෂාංශ 060 34’ 12” ත් 70 34’ 12.96” සහ නැගෙනහිර දේශාංෂ 810 22’ ත් 810 37’ 48” ත් අතර පිහිටි මෙම කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 48කින් සමන්විතය. වසම්වලට අදාල ගම්මා/ගම් ගොඩැලි 234කි. කොට්ඨාසයේ මුළු පුද්ගලයින් ගණන 62,827කි. ජන ඝනත්වය 58km2කි. මෙම ජනගහනයෙන් 99.9 % ක් ම සිංහල බෞද්ධයෝ ය.

භූගෝලීය පිහිටීම

 මුහුදු මට්ටමේ සිට 80mත් 160mත් අතර උසකින් සියඹලාණ්ඩුව කොට්ඨාසය පිහිටා ඇත. 1040mක් වූ කොට්ඨාසයේ උසම ස්ථානය මරගල කඳු වැටියෙහි නැගෙනහිර බෑවුමට අයත්වේ. දෙවනුවට උසම ස්ථානය හේවාමැඩිල්ලේහෙළ කඳුවැටියටයෙන් නැගෙනහිර දිසාවට බිඳීයන අම්පාර දිස්ත්‍රික්කයට  මායිම්ව පිහිටි වඩිනාගල කන්දයි. එය උසින් 660mකි. සියඹලාණ්ඩුව කොට්ඨාසයේ පිහිටි ප්‍රසිද්ධ කඳුවැටියක් වන ගොවිඳුහෙළ හෙවත් වෙස්ට්මිනිස්ටර්ඇබේ (Westministerabay) කඳුවැටිය උසින් 500m කි. ප්‍රදේශයෙන් 80%ක් ම තැනිතලා බිම් වන අතර ඉතිරි 20% කඳු සහිත උස් බිම් වේ. ප්‍රදේශයේ උස් ස්ථාන පිහිටියේ බස්නාහිර සහ උතුරු දිසාවන්හිය. ඒ අනුව ප්‍රධාන ජලවහන රටාව නැගෙනහිර දිශාවට බරව පිහිටයි.

දේශගුණික බෙදීම් අනුව මෙම ප්‍රදේශය පහතරට වියළි කලාපයට අයත්වේ. වාර්ෂික වර්ෂාපතනය 1500mm - 2000mm අතර ද උෂ්ණත්වය 270ත් - 320ත් අතර ද ආර්ද්‍රතාවය 30% - 60%ත් අතර ද වෙයි. ප්‍රධාන වශයෙන් වර්ෂාපතනය ඇදහැලෙනුයේ ඊසානදිග මෝසම සක්‍රිය වීමත් සමගයි. ඊට අමතරව සංවහන හා වාසුළිවලින් ද වැසි ඇදහැලේ. දේශගුණික වශයෙන් පමණක් නොව ජෛව විවිධත්වය අතින්ද ඒක දේශික ශාක හා සතුන් ජීවත්වන වියළි කලාපයේ පිහිටි එකම නිවර්තන තෙත් වනාන්තරය වන මරගල කන්දෙහි නැගෙනහිර බෑවුම ද මෙම කොට්ඨාසයට අයත්වේ.

මෙම කොට්ඨාසය කෘෂිකාර්මික පාරිසරික කලාප 7කට අයත් වේ. පස අනුව ප්‍රදේශය කලාප 5කට බෙදේ. වියළි කලාපීය පොදු කෘෂිකාර්මික ජිවන රටාවකට හැඩගැසුණු ජනතාවක් මෙම කොට්ඨාසයේ ජීවත්වේ. සිය කෘෂිකාර්මික කටයුතුවලට නිරන්තරයෙන් ම නියඟයෙන් පීඩා සිදුවන නිසා ජලය රැස් කිරීම සඳහා ඉදිකරන ලද සුළු හා මහා පරිමාණ වැව් අමුණු ප්‍රදේශය පුරාම අදටත් දක්නට ලැබේ. අතීතයේ දී වී වගාව මූලික කරගත් යැපුම් කෘෂිකර්මාන්තයක් පැවති බව හදුනාගත හැකිය, එහෙත් වත්මන් තත්වය අනුව විශාල වශයෙන් වාණිජ පරමාර්ථයෙන් කෘෂිකර්මාන්තයට යොමුවිමක් දක්නට ඇත. විවිධ පලිබෝධ, වෙළෙඳපොළ මිලමට්ටම් හා කාලගුණ තත්වයන් හි වෙනස්කම් සලකාබලා ලාභ අපේක්ෂාවෙන් භෝග අතර මාරුවීමට ජනතාව පුරුදුව සිටී.

මොනරාගල - පොතුවිල් මාර්ගය (A4) සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පිවිසිය හැකි ප්‍රධාන පිවිසුම් මාර්ගයයි. ඊට අමතරව අම්පාර - සියඹලාණ්ඩුව (A25) මාර්ගයෙන් ද සියඹලාණ්ඩුව කොට්ඨාසයට පිවිසිය හැකිය. මෙහි පරිපාලන කටයුතු සංවිධානය වි ඇත්තේ සියඹලාණ්ඩුව නගරය කේන්ද්‍රකරගෙන ය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මූලික රෝහල, ප්‍රාදේශීය සභාව, ගොවිජනසේවා මධ්‍යස්ථානය, තැපැල් කාර්යාලය, බැංකු ඇතුළුව ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලන විවිධ සේවා සපයාගතහැකි ප්‍රධාන වෙළෙඳ නගරය සියඹලාණ්ඩුව යි. දොඹගහවෙල, බුද්දම, ඇතිමලේ අනුනගර වශයෙන් පිහිටා ඇත.

 

                                      සියඹලාණ්ඩුවෙහි ඓතිහාසික පසුබිම.

 ඓතිහාසික තොරතුරු අනුව එක් එක් කාලවල දී මහවැදිරට, මහවැදිරට කෝරළේ, මහපිටිය යන නම්වලින්ද සියඹලාණ්ඩුව හඳුන්වා ඇත. සියඹලාණ්ඩුව හෙළ රජදවස දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇති සහ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයකි. අතීතයේ දී වෙල්ලස්ස ලෙස හැඳින්වූ සශ්‍රීක ප්‍රදේශයට වත්මන් සියඹලාණ්ඩුව මුළුමනින්ම අයත්වේ. ක්‍රි.ව.1817 සහ ක්‍රි.ව. 1818 අතරතුර කාලයේ ඇතිවූ වෙල්ලස්ස කැරැල්ලට හේතුවන බ්‍රිතාන්‍යයන්ගේ ලංකාවට එරෙහි විනාශකාරී ප්‍රතිපත්තියෙහි වෙල්ලස්සේ ආහාර හිඟයක් ඇතිකිරීම යන්න ප්‍රධාන තේමාවකි. ඒ අනුව එවකට වෙල්ලස්සෙහි සශ්‍රීකත්වය පිළිබඳව බ්‍රිතාන්‍යයන් පවා හොඳින් අවබෝධකරගෙන සිටින්නට ඇත. ප්‍රදේශයේ තැනින්තැන බහුලව දක්නට ලැබෙන නටඹුන් වූ වාරි පද්ධතීන්හි සලකුණු එකී සශ්‍රීක යටගියාවට සාක්ෂි දරනු ඇත. සුගලාදේවී වැව, ඇතිමලේ වැව, වට්ටාරම වැව, කොටියාගල වැව යනාදිය ඉන් කිහිපයකි.

 මෙම කොට්ඨාසයට අයත් පරිපාලන සීමාව තුළ පෞරාණික විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් ඇති අතර තවදුරටත් අනාවරණයකර නොගත් තවත් බොහෝ විහාරස්ථාන තිබෙන්නට ඇති බවට සාක්ෂි හමුවේ. ඒ අනුව බොදු දහමින් සැදුම්ලත් විනයගරුක ජන සමාජයක් එවකට මෙම ප්‍රදේශයෙහි පවතින්නට ඇතැයි නිගමනය කළ හැකිය.

 දොඹගහවෙල ග්‍රාම නිලධාරි වසමට අයත් (වත්මන් නාගාරාම විහාර භූමිය) වැලඑල්ලූගොඩ කඳු මුදුන්හි පිහිටි ඓතිහාසික වැලඑල්ලූගොඩ සෙල්ලිපියට අනුව දුටුගැමුණු රජුගේ දසමහා යෝධයින්ගෙන් කෙනෙක් වන ඵුස්සදේව ජන්ම ලාභය ලබා ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේය. ඉතිහාසයට අනුව සිරිවල්ලභ රජුගේ බිසව වූ සුගලා දේවිය නැමති කාන්තාවක් විසින් වත්මන් සියඹලාණ්ඩුව ප්‍රදේශය සියබලආණ්ඩුව‍ ලෙස පාලනය කළා යැයි සැලකේ. වත්මන් ගලබැද්ද ප්‍රදේශයේ පිහිටි ගලින් නිමවනලද කලාත්මක නිර්මාණයක් වන බිසෝකොටුව නමින් හඳුන්වන පැරණි පොකුණ එකී සුගලා දේවියගේ ස්නානය සඳහා නිර්මාණය කරන ලද්දකි. දුටුගැමුණු එළාර යුද්ධයට පෙර ධාන්‍යය රැස්කිරීමේ අරමුණින් සද්ධාතිස්ස කුමරු විසින් කරවූ වෙල් ලක්ෂය (වෙල්ලස්ස) ඇතිමලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන කරවූවක් ලෙස සැලකේ. ජනප්‍රවාද අනුව රැස් කළාවූ ධාන්‍යය ප්‍රමාණවත් බව ප්‍රකාශ කිරීම සඳහා දුටුගැමුණු රජු සද්ධාතිස්ස කුමරුහමුවී ඇත්තේ ද ඇතිමලේ ප්‍රදේශයේදී ය.

 සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සෑම ගම් ගොඩැල්ලක්ම ආවරණයවන පරිදි අතීතයේ දී දියුණු විහාරස්ථාන ගොඩනගා තිබූ බවට නටඹුන් හමුවේ. බුද්දම රජමහා විහාරය, වත්තේගම රජමහා විහාරය, මානාභරණ රජමහා විහාරය, වට්ටාරම පුරාණ රජමහා විහාරය, ඓතිහාසික නාමළුව පුරාණ රජමහා විහාරය යනාදිය ඉන් කිහිපයකි. මෙම ප්‍රදේශයේ පවතින පෞරාණික විහාරස්ථාන බොහොමයක් මේවන විටත් පුරාවිද්‍යා ගවේෂකයන්ගේ අවධානයට යොමුවී ඇත. වල්බිහිවී ගිය විහාරස්ථාන සමහරක් නිධන් සොරුන්ගේ ග්‍රහණයට ද ලක්වී ඇත.

සඳකඩපහන්, බුද්ධ ප්‍රතිමා, ගල් කැටයම්, සෙල් ලිපි, පියගැටපෙළ, පොකුණු, ස්ථූප යනාදිය ද සියඹලාණ්ඩුවෙහි ඓතිහාසික උරුමයන් අතරවේ.

 යටත්විජිත සමයන්හි විශාල වශයෙන් මෙම ප්‍රදේශයෙහි ඓතිහාසික උරුමය විනාශ වීමත් සමග ජනශූන්‍යය ප්‍රදේශයක් බවට පත්විය. ස්වයංපෝෂිත වාරි පද්ධතිය වල්බිහිවන්නට විය. නිදහස ලැබූ මුල් කාලයේ විවිධ ප්‍රදේශවලින් වරින්වර සංක්‍රමණය වූ ජනතාව හේන්ගොවිතැන ආරම්භ කළහ. යැපුම් කෘෂිකර්මාන්තයට සීමාවූ යටිතල පහසුකම් නොමැති ස්වභාවික විපත්තිවලට ගොදුරුවෙමින් බොහෝ කලක් මෙකී සංක්‍රමණිකයින් ජීවත්වී ඇත.

 ප්‍රදේශය කෙරෙහි සංවර්ධනය සඳහා රජයේ අවධානය යොමුවන්නේ ක්‍රි.ව. 1956 කාලයේ දී ය. ඒ ඇතිමලේ, කොටියාගල ගොවිජනපද ව්‍යාපාරය ස්ථාපිත කිරීමත් සමගයි. මොරමල් පොකුණ, වරදෙණියාව, ඒගල්ල, මූදව, වත්තේගම, මීයන්ගොඩ, මාකඳවිල යන ගම් ප්‍රදේශවල විසූ ජනතාව ඇතිමලේ, කොටියාගල ජනපදවල පදිංචිකර ඇත. එමඟින් ප්‍රදේශයේ නොදියුණුව තිබූ ආර්ථිකය නව මඟකට යොමුවීම ආරම්භ විය. ගොවිතැනට නිශ්චිත වාරි ජලය, දරුවන්ට අධ්‍යාපනය, නිෂ්පාදනවලට වෙළෙඳපොළ, නව දැනුම පමණක් නොව එතෙක් කල් අවධානය යොමු නොවූ පාර්ශවයන්ගේ අවධානයද ප්‍රදේශය කරා යොමුවිය. ජනශූන්‍යව පැවති ප්‍රදේශයට සංවර්ධනයත් සමග ක්‍රමයෙන් විවිධ ප්‍රදේශයන්ගෙන් ජන සංක්‍රමණයන් සිදුවිය. බොහෝකළක් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වූ ජනතාවට සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වීමත් සමග යටිතල පහසුකම්හි යම් සංවර්ධනයක් සිදුවිය. රෝහලක්, තැපැල් කාර්යාලයක්, ගොවිජනසේවා මධ්‍යස්ථාන, විවිධසේවා සමූපකාර සමිතියක්  හා පාසල් යනාදී පහසුකම් ඒ අතර වෙයි.

 80 දශකයේ මුතුකණ්ඩිය ව්‍යාපාරය ක්‍රියාත්මක වීමත් සමග සියඹලාණ්ඩුව නගරය ඇතළු විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි සංවර්ධනයෙහි නව ප්‍රවණතාවන් ඇතිවිය. මුතුකණ්ඩිය ව්‍යාපාරය මොණරාගල දිස්ත්‍රික්කයේ විශාලතම වාරි යෝජනා ක්‍රමය නිසාම ඊට සමගාමීව ප්‍රදේශයේ විවිධ ක්ෂේත්‍රයන් කෙරෙහි රජයේ අවධානය යොමුවිය.

 

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයෙහි සේවය කළ ප්‍රාදේශීය ආදායම් නිලධාරීන් , ප්‍රාදේශීය උප දිසාපතිවරුන්, සහකාර ආණ්ඩුවේ ඒජන්තවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්

නම තනතුර සිට  දක්වා
නන්දසේන මහතා ප්‍රාදේශීය ආදායම් නිලධාරි         1972                     1973             
වින්සන්ට් අබේවික්‍රම මහතා ප්‍රාදේශීය ආදායම් නිලධාරි 1974 1975
ජි.විජේසංහ මහතා ප්‍රාදේශීය ආදායම් නිලධාරි 1975 1976
ජේ. රත්නායක මහතා ප්‍රාදේශීය උප දිසාපති 1976 1977
ජයසේන මහතා ප්‍රාදේශීය උප දිසාපති 1978 1979
එම්.එම්.ඩබ්.පි.බී.ඒ. ඒකනායක මහතා සහකාර ආණ්ඩුවේ ඒජන්ත 1980 1982
වයි.ජී.මිත්‍රානන්ද මහතා සහකාර ආණ්ඩුවේ ඒජන්ත 1983 1988
සමන් උඩවත්ත මහතා සහකාර ආණ්ඩුවේ ඒජන්ත 1988 1990
ගුණතිලක මහතා සහකාර ආණ්ඩුවේ ඒජන්ත 1991 1991
එම්.සි.රුද්‍රිගෝ මහතා සහකාර ආණ්ඩුවේ ඒජන්ත 1991 1992
පි.ඩි.කේ.ගම්ලත් මහතා ප්‍රාදේශීය ලේකම් 1992 1993
එස්.ඩි.පියදාස මහතා ප්‍රාදේශීය ලේකම් 1993 1994
පි.ජයමාන්න මහතා ප්‍රාදේශීය ලේකම් 1994 1995
ඒ.එච්.කේ.ජේ.චන්ද්‍රසිරි මහතා ප්‍රාදේශීය ලේකම් 1995 1999
සේන ජයසූරිය මහතා  ප්‍රාදේශීය ලේකම් 1999 2001
එම්.එම්.විජයසේන මහතා  ප්‍රාදේශීය ලේකම්  2001 2002 
ඩබ්.එම්.ගුණසේකර මහතා  ප්‍රාදේශීය ලේකම්  2002 2005 
ජේ.එම්.කේ.යූ.ජයසේකර මහතා  ප්‍රාදේශීය ලේකම්  2005 2008 
එම්.ජි.තිලකරත්න මහතා  ප්‍රාදේශීය ලේකම්  2008 2009 
කේ.පි.කුලතිලක මහතා  ප්‍රාදේශීය ලේකම්  2009 2012 
සරත් විතාන මහතා  ප්‍රාදේශීය ලේකම් 2012 2012
ජේ.එම්.කේ.යූ.ජයසේකර මහතා (වැඩබලන)  ප්‍රාදේශීය ලේකම් 2012 2013
ඒ.එම්.නන්දසිරි මහතා  ප්‍රාදේශීය ලේකම් 2013 2018
කේ.ඩි.ඒ.එල්.ඒ. දයාරත්න මහතා  ප්‍රාදේශීය ලේකම් 2018

 

 

News & Events

28
ஆக2017
ප්‍රදේශිය ලේකම්වරුන්ගේ රැස්වීම 2023

ප්‍රදේශිය ලේකම්වරුන්ගේ රැස්වීම 2023

මොණරාගල දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශිය ලේකම්වරුන් සම්බන්ධවන ප්‍රාදේශිය...

28
ஆக2017
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන සසුනාලෝක ධර්මදේශනා මාලාව හා දසසිල් සමාදන් කරවීමේ වැඩසටහන

පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන සසුනාලෝක ධර්මදේශනා මාලාව හා දසසිල් සමාදන් කරවීමේ වැඩසටහන

පොසොන් පෝහෝය නිමිති කරගෙන සියඹලාණ්ඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ...

குடியுரிமை சாசனம்

Scroll To Top